ශ්‍රී ලංකාවට “සමාජවාදී”ආණ්ඩුවක්!
ශ්‍රී ලංකාවේ තවත් මහා මැතිවරණයක් 2024.11.14 දින පවත්වන ලදී. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් සියයට 42.31 ක් හෙවත් ඡන්ද 56,34,975 ක් ලබා ජයගත්, අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය , මැතිවරණ නිරීක්ෂකයින් පුරෝකථනය කළ ආකාරයෙන් ම මහා මැතිවරණයෙන් ද ජයගන්නා ලදී. ඒ ඡන්ද 68,63,186 ක් හෙවත් වලංගු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 61.56 ක් ලබාගෙන, පාර්ලිමේන්තුවේ ආසන 225 න් 159 ක් දිනා ගනිමිනි. ඡන්ද ප්‍රතිශතය ඉහළ යාමට බලපෑ කරුණු දෙකකි. ඉන් එකක් වූයේ ජනාධිපතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 12,28,211 ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත්වීමයි. අනික් කරුණ වූයේ ඡන්දය පාවිච්චි කළ ප්‍රතිශතය 79.46 සිට 68.93 දක්වා පහත වැටීමයි.
ශ්‍රී ලංකාවේ පැවති මහා මැතිවරණ අතරින් කිසිදු උද්යෝගයකින් තොර, උදාසීන ම මහා මැතිවරණය මෙයයි. ජනාධිපතිවරයා නායකත්වය දුන් ජාතික ජන බලවේගය හැර මැතිවරණයට ඉදිරිපත් වූ වෙනත් කිසිදු පක්ෂයක් එලිමහන් රැස්වීම් නොපැවැත්වී ය. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නායකයා තමා තරග කළ මැතිවරණ බල ප්‍රෙද්ශයෙන් බැහැරව රැස්වීම්වලට සහභාගි නොවූ තරම් ය. මෙම තත්ත්වය තුළ ජාතික ජන බලවේගයට පැවතියේ තරගයක් නොව, නිතරගයකි.
ලංකාවේ දැනට ක්‍රියාත්මක අනුපාතික නියෝජන ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ මුලු ආසන සංඛ්‍යාවෙන් ⅔ කට වැඩි ආසන ප්‍රමාණයක් එක් පක්ෂයක් විසින් දිනා ගත්තේ මෙම මහා මැතිවරනයේ දී ය. ඒ ජාතික ජන බලවේගයයි. එය කේවල මැතිවරණ කොට්ඨාස ක්‍රමයක් වූයේ නම්, මැතිවරණ කොට්ඨාස 160 න් 152 ක ජයග්‍රහණයක් විය. ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයට දිනාගත හැකි වූයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 15 කි. එහෙත් මාස දෙකකට පසු පැවති මහා මැතිවරණයෙන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 21 ක් ම ජය ගැනීමට සමත් විය. විශේෂයෙන් ම දෙමළ හා මුස්ලිම් සුලුතර ජන කොටස් බහුතරයක් සිටින උතුරු හා නැගෙනහිර පළාත්හි ඇති මැතිවරණ දිස්ත්‍රික්ක ⅘ ක් ම ජාතික ජන බලවේගය විසින් දිනා ගන්නා ලදී. මෙම ජයග්‍රහණය ජාතික ජන බලවේගයේ නායකයන් අපේක්ෂා කළ ජයග්‍රහණයක් නොවේ. ඒ බව තහවුරු වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු මාධ්‍ය වෙත කළ ප්‍රකාශයෙනි. එය මෙසේ ය.
” අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ප්‍රමාණවත්. හැමදාම තුනෙන් දෙක අපේක්ෂා කරන්නේ ජනතාවට එරෙහි නීති සම්පාදනය කරන්න. අනෙක් දේශපාලන ව්‍යාපාර තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් උල්ලංඝණය කරන්න. තුනෙන් දෙක තීරණාත්මක වෙන්නෙ එවැනි දේශපාලන කදවුරකට.” මහා මැතිවරණයේ ප්‍රතිඵළ නිකුත් වූ පසු ජාතික ජන බලවේගයේ ප්‍රධාන කොටස්කාර පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ, ” අපි උනත් තුනෙන් දෙකක් ඉල්ලුවේ නෑ” යනුවෙනි.
මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් සම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ සියල්ල සිංහල හා දෙමළ සමාජය තුළ පවත්වාගෙන ගිය ආධිපත්‍යය බිද වැටිනි. ලංකාවට නාමික නිදහසක් ලද 1948 සිට දේශපාලන ආධිපත්‍යය හිමිව තිබුණේ පවුල් කිහිපයක් මත ය. මෙම මැතිවරණයේ දී ජනතාව විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. දේශපාලන බලයේ හිමිකාරිත්වය දැරූ පක්ෂ කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිද වැටීම සදහා බලපෑ කරුණු අතර, පන්තිමය හා භූ දේශපාලනික ආතතීන් මගින් පීඩාවට පත්ව එම පක්ෂ අභ්‍යන්තරයේ ම ඇතිවූ ආරවුල් හේතු කොටගෙන එම පක්ෂ කැඩි බිදී යාම ප්‍රබල බලපෑමක් විය. එයට අමතරව පාලක පන්තියට එල්ල වූ අල්ලස, දූෂණය, නාස්තිය, නිතිය අවභාවිත කිරිම ආදී චෝදනා ද එක් විය. මෙම බිද වැටීම කෙතෙක් ද යත්, 1965 සිට ප්‍රේමදාස පවුලේ ( විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවුලේ ) බලකොටුව වූ “මැද කොළඹ” ඡන්ද බල ප්‍රෙද්ශයෙන් ද ඔවුන් පරාජයට පත් විය. මෙයින් පැහැදිලි වන්නේ සම්ප්‍රදායික ධනපති පක්ෂවලට සමාජයේ පැවති බලපැම විනාශ වි ඇති බවයි.
උතුරු – නැගෙනහිර ආධිපත්‍යය දැරූ ද්‍රවිඩ වාර්ගික ධනපති පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය බිද වැටීමට හේතු වන්නට ඇත්තේ,ඩග්ලස් දේවානන්ද සහ සුමන්දිරන් වැනි සම්ප්‍රදායික ද්‍රවිඩ පක්ෂ නායකයන් ජයගැනීමෙන් පසු ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන බව ප්‍රසිද්ධීයේ ප්‍රකාහ කිරිම, එම පක්ෂ නියෝජනය කළ මන්ත්‍රිවරුන්ගේ ප්‍රභූ මානසිකත්වය, දකුණේ පක්ෂ සමග කළ දේශපාලන කේවල් කිරිම් අසාර්ථක වීම, එම නායකයින්ගේ විවිධ ක්‍රියාකාරිත්වයන් නිසා ඔවුන් කෙරෙහි වූ බලාපොරොත්තු සුන් වීම සහ ජනාධිපතිවරණයේ දී දකුණේ ඇති වූ බල පෙරළියේ බලපෑම ද ඉවහල් වන්නට ඇත. ඒ සමග අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව පැවසීම, හමුදා සතු කරගෙන සිටින ජනතා ඉඩම් ආපසු ලබා දෙන බව පැවසීම, වසා තිබූ පාරවල් යළි විවෘත කිරිම සහ පළාත් සභා යළි සක්‍රීය කරන බව පැවසීම ද එම ප්‍රෙද්ශවල ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවන්නට ඇත. මෙයට අමතරව උතුරු – නැගෙනහිර ජනතාව තුළ වෙනසක් සදහා පැවති ආශාව ද ජාතික ජන බලවේගයට එම පළාත්වල ජනයාගේ සහාය හිමි විමට හේතුවක් වන්නට ඇත.
කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් ශ්‍රී ලංකාව තුළ පළමු වරට ජාතික පදනමින් යුත් පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය පෙරට ආවේ ය. ලංකාවේ පක්ෂ ක්‍රමය ඇරඹි දා සිට පැවතියේ වාර්ගික පදනමින් හෝ ප්‍රාදේශීය පදනමින් යුත් දේෙශපාලන පක්ෂයන් ය. ජාතික ජන බලවේගය මෙම මැතිවරණයෙන් එම තත්ත්වය වෙනස් කරන ලදී.
ජාතික ජන බලවේගයේ මෙම ජයග්‍රහණය කෙරෙහි දිවයිනේ සියලු ජනතාව බලාපොරොත්තු තබා සිටිති. විශේෂයෙන් ම ද්‍රවිඩ ජනතාව දැඩි බලාපොරොත්තු සහගතව සිටින බව පැහැදිලි වන්නේ කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය ආණ්ඩුවට සුබ පැතුම් එක් කිරිම තුළිනි. ඒ සමගම ආණ්ඩුව විසින් ඉටුකළ යුතු කාර්යයන් ගණනාවක් ද ඔවුහු පෙන්වා දෙති. එනම්,
◊ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කර, ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රමුඛත්වය ලබා දෙන සහ දෙමළ ජනතාව ඇතුලු සියලු දෙනාගේ අයිතීන් සුරැකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම.
◊ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම
◊ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරිම
◊ උතුරු – නැගෙනහිර හමුදාව විසින් පරිහරණය කරන ඉඩම් මුල් අයිතිකරුවන්ට ලබා දීම
◊ උතුරේ දෙමළ ජනතාවගේ සංස්කෘතික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරිම
◊ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරිම හා පළාත් සභා මැතිවරණ පැවැත්වීම
◊ උතුරු – නැගෙනහිර හමුදා පැවැත්ම රටේ සෙසු ප්‍රෙද්ශවලට සමපාත කිරිම
මෙම ඉල්ලීම් ඉටු කිරිමට ආණ්ඩුව සූදානම් වන්නේ නම්, ධනපති ක්‍රමය තුළ පවතින සිමාවන් තුළ වුවද එමගින් ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුවට විසදුමක් ලැබේවියැයි විශ්වාස කළ හැකි ය. එය සමාජ ප්‍රගමනයට ඉවහල් වන එක් සාධකයක් වන බැවින් සියලු මාක්ස්වාදීන් විසින් ඒ සදහා කොන්දේසි විරහිතව රජයට සහාය දැක්විය යුතුව තිබේ.
මේ ආකාරයට ම දකුණේ ජනතාව ද බලාපොරොත්තු තබා සිටිති. විශේෂයෙන් ම ගුරුවරුන් ඔවුන්ගේ විසි හත් වසරක් තිස්සේ නොවිසදුනු වැටුප් විෂමතා ගැටලුව මෙම රජය තුලින් විසදාවියැයි අපේක්ෂිතය. පසුගිය රජයන් සමයේ ඒ සදහා වෘත්තීය සටන් මෙහෙයවූ සහ ගුරුවරුන් ඒ සදහා පෙළඹ වූ ජනතා විමුක්ති පෙරෙමුණේ ගුරු වෘත්තීය සමිතිය වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වන මහින්ද ජයසිංහ මෙම ආණ්ඩුවේ කම්කරු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ද, එහි ජාතික සංවිධායක සුන්දරලිංගම් ප්‍රදීප් වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කිරිම ද, එහි දිස්ත්‍රික් නායකයින් ගණනාවක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් ලෙස කටයුතු කිරිම ද එම බලාපොරොත්තු ඉහළ නැංවීමට හේතු වී ඇත. උද්ධමනය හා විරැකියාව පහළ දැමීම, රාජ්‍ය අධ්‍යාපනය පුලුල් කිරිම, විදුලිය- ජලය හා ගෑස් මිල මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීම, වැටුප් වැඩි කිරිම මෙන්ම දූෂණය, නාස්තිය හා අල්ලස තුරන් කිරීම ද ඒ අපේක්ෂා අතර වේ.
“සමාජවාදී“ පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය තුළින් එම අපේක්ෂා කොතෙක් දුරට ඉටු කර ගත හැකි ද යන්න ගැටලුවක් වූයේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ පළමු වන රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලිනි. ඔහු එහිදී කියා සිටියේ, ” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකගතා බිද වට්ටවා අපට ගමනක් නැහැ ” — ” විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමේ යෝජනා හොද ද, නරක ද , වාසි ද, අවාසි ද කියන එක දැන් විවාද කිරිමෙන් පලක් නෑ. ඒක තමයි අප හමුවේ තිබෙන යථාර්ථය” යනුවෙනි. එයින් පැහැදිලි වූයේ පරාජිත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික පිළිවෙතට විකල්ප ආර්ථික පිලිවෙතක් වත්මන් “සමාජවාදී” ආණ්ඩුවට ද නොමැති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයත් සමග මාක්ස්වාදීන්ට සිහියට නැගෙන්නේ රජය හා විප්ලවය කෘතිය රචනා කරමින් වී.අයි. ලෙනින් විසින් පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන් ය. ඉන් කිහිපයක් මෙසේ ය.
“ධනපති පාර්ලිමේන්තුවේ නියම හරය වූ කලි අවුරුදු කිහිපයකට වතාවක් පාර්ලිමේන්තුව තුළින් ජනතාව මර්දනය කරන්නේත්, පෙළන්නේත් පාලක පන්තියේ කිනම් නියෝජිතයන් විසින් ද යන්න තීරණය කිරිමකි. පාර්ලිමේන්තු ව්‍යවස්ථා ඇති රාජාණ්ඩුවල පමණක් නොව ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයන් තුළ ද මෙය මෙසේ සිදු වේ.” – ( රජය හා විප්ලවය – ප්‍රගති ප්‍රකාශන – මොස්කව් -1970 – පිටුව 45 )
“පාර්ලිමේන්තු රටවල නියම ” රාජ්‍ය” කටයුතු කරන්නේ තිරයට මුවා වී සිටින දෙපාර්තමේන්තු, කාර්යාල සහ යුද සෙනෙවි වරුන්ගේ මණ්ඩලයන්( Deep State ) මගිනි. “පොදු ජනතාව” රැවටීමේ විශේෂ කාර්ය සදහා වාචාල කථා දොඩවන තැනක් පමණකි, පාර්ලිමේන්තුව .” ( එම 46 පිටුව )