ශ්‍රී ලංකාවේ. සූරාකන පන්තියට නිදහස ලැබීම.

විකල්ප අධ්‍යයන කවය විසින්, ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නිමිත්තෙන්, ඇහැලියගොඩ, විජය කුමාරණතුංග අනුස්මරණ ශාලාවේ දී පවත්වන ලද දේශනය –
දේශකයා – ලංකා ස්වාධීන ගුරු සේවා සංගමයේ, ප්‍රධාන ලේකම්,
චන්දිමාල් විජේරත්න
ශ්‍රී ලංකාව මුලුමනින් ම යටත් විජිතයක් බවට පත් වන්නේ 1815 මාර්තු 02 දින දි ය. එය අධිරාජ්‍ය හමුදා විසින් බලහත්කාරයෙන් යටපත් කර ගැනීමක් නොවී ය. ස්වදේශික ප්‍රභූන් විසින් සිය රජු පාවා දෙමින්, බ්‍රිතාන්‍ය සම්‍ග ගිවිසුමකට එළඹීමෙන් , ස්වකැමැත්තෙන් යටත්වීමකි. ඒ කෙරෙහි ප්‍රධාන කරුනු දෙකක් බලපෑවේ ය. එනම්, රජු ලංකාවේ ප්‍රධාන ජනවර්ගය වූ සිංහල වාර්ගියකු නොවීම හා සිංහල ප්‍රභූන් හා රජු අතර වූ අන්‍යොන්‍ය අවිශ්වාසයයි.එම මහා පාවාදීමේ දී වැඩවසම් ක්‍රමය බිදදැමීමේ අවශ්‍යතාවක් සිංහල ප්‍රභූන් තුළ නොවී ය. ඔවුන්ට පැවතියේ සිය නිලතල හා වරප්‍රසාද තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පමණි. පාවා දීමේ ගිවිසුමේ (1815 උඩරට ගිවිසුමේ ) 2,3 හා 4 වගන්ති පරික්ෂා කිරීමේ දී ඒ බව පැහැදිලි වේ. එම වගන්තිවලින් රජ පෙළපතට රාජ උරුමය අවලංගු කිරීම, රජුගේ පිරිමි නෑයන් රටින් පිටුවහල් කිරීම හා ප්‍රභූන්ගේ තනතුරු හා වරප්‍රසාද එසේම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකගත්වයක් ඇති විය.
යටත් විජිත පාලනයට එරෙහිව 19 වන සියවසේ කැරළි දෙකක් ඇති විය. ඒ 1818 සහ 1848 දි ය. පළමු කැරැල්ල මෙහෙයවන ලද්දේ අධිරාජ්‍යවාදින්ට ලංකාව පාවා දීමේ ගිවිසුමට අත්සන් කළ අයකු වූ මොනරවිල කැප්පෙට්ටිපොල ය. එයට හේතු වූයේ අධිරාජ්‍ය පාලකයන් ලංකාවේ පාලනය භාරගන්නා අවස්ථාවේ ප්‍රභූ පැලැන්තියට ලබාදුන් පොරොන්දු කඩ කිරිම සහ එනිසා ඔවුන් සතුව තිබූ වරප්‍රසාද අහිමි වීමයි. එම කැරැල්ලේ අභිප්‍රාය වූයේ පෙර පැවති වැඩවසම් පාලනය යලි පිහිටුවීම යි. දෙවන කැරැල්ල ඇති වූයේ පීඩිත ජනයා තුළිනි. ඒ බ්‍රිතාන්‍ය පාලකයන් ගෙන ආ මුඩු බිම් පනත නිසා, උඩරට ඉඩම් රජය සතු කර ගැනීමෙන් ඉඩම් අහිමි වීම, විවිධ බදු වර්ග 30 කින් පමණ පීඩා විදිමට සිදු වීම, අධිරාජ්‍ය හමුදාවෙන් හා පොලීසියෙන් පීඩා විදීමට සිදු වීම ආදියට එරෙහිව ය. ඒ පිලිබදව අදහස් දැක් වූ ලංකාවේ පැරණි ට්‍රොට්ස්කිවාදියෙකු වූ කොල්වින් ආර් ද සිල්වා මෙසේ පැවසී ය.
“ එය තම ඉඩම් උදුරා ගැනීමේ ධනේශ්වර ක්‍රියාවලියට එරෙහි ග්‍රාමීය ජනයාගේ අරගලයක් විය. එයට නායකයන් සිටියත්, නායකත්වයක් නොවීය. ඒ වන විට පැරණි වැඩවසම්වාදීහු තලා දමා බල රහිත කරන ලදහ. අරගලයට නායකත්වය දී බලය කරා ගෙන යා හැකි නව පන්තියක් මේ වන විට බිහිව තිබුණේ නැත.” – (කොල්වින් ආර් ද සිල්වා – 1953 පත්‍රිකාවක)
ලංකාවේ ධනේශ්වර අර්ථ ක්‍රමයේ මූල බීජ පැලවන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීමත් සමග නොවේ. යටත් විජිතයක් කර ගත් මුල් වකවානුවේ බ්‍රිතාන්‍යයන් කළේ පැවති වැඩවසම් පාලන ක්‍රමය එලෙසම පවත්වාගෙන යමින් දේශීය සම්පත් සූරාකැම ය. ලංකාව තුළ ධනේශ්වර ආර්ථික ක්‍රමයකට මූල බීජයන් රෝපනය කරන්නේ 1833 කෝල්බෘක් – කැමරන් ප්‍රතිසංස්කරණ මගිනි. එමගින් වතු ආර්ථික ක්‍රමයක් ගොඩනැගිමටත්, බැංකු ක්‍රමයක් ඇති කිරීමටත් පියවර ගනී. එම ප්‍රතිසංස්කරණයන්ගේ බලපෑම හේතු කොටගෙන ලංකාව තුළ ධනේශ්වර සමාජයක් බිහිවේ. එය කොටස් දෙකකින් යුක්තය.
- අධිරාජ්‍ය ධනපති පන්තිය
- දේශීය කොම්ප්‍ර දෝරු ධනපති පන්තිය
අධිරාජ්‍ය ධනපති පන්තිය ලෙස කටයුතු කරන්නේ බ්‍රිතාන්‍ය හෝ යුරෝපයේ වෙනත් රටකින් වතුවගාව සදහා පැමිණි විදේශිකයන් ය. කොම්ප්‍රදෝරු ධනපතිපන්තිය ලෙස හැදින්වූයේ එම වතු වගාව ඇසුරින් ඇති වූ අතුරු කර්මාන්ත ඔස්සේ ධනවත් වූ පැලැන්තියයි. එම අතුරු කර්මාන්ත වූයේ, ප්‍රවාහනය, මිනිරන් කර්මාන්තය, රේන්ද ( ස්ඛාගාර) කර්මාන්තය ආදිය යි.
බ්‍රිතාන්‍ය පාලනය වතු වගාව ඇරඹීම සමග ලාංකික කම්කරු පන්තියේ ඇරඹුම ද සිදු විය. එතෙක් ලංකාවේ වැටුපට ශ්‍රමය විකිණීමේ ක්‍රමයක් නොවිනි. එබැවින් ඒ සදහා අවශ්‍ය ශ්‍රමිකයන් ලංකාව තුළින් සොයා ගැනිම අපහසු විය. එහි ප්‍රතිඵලයක් ලෙස වතු වගාවට අවශ්‍ය ශ්‍රමිකයන් ඉන්දියාවෙන් ගෙන එන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හවුල් වූ නව ධනපති පන්තිය ර්‍හමිකයන් දැඩි ලෙස සූරාකෑමට භාජනය කරන ලදී. එයට ඉන්දියානු මෙන්ම ලාංකික කම්කරුවන් ද භාජනය විය.එම සූරා කෑම ශක්තිමත් කිරීමට අධිරාජ්‍ය පාලකයන් විසින් ද නොමද සහාය ලබා දෙනු ලැබිණි. ඒ වෙනුවෙන් 1865 දී වැඩ වර්ජනය සාපරාධී වරදක් බවට පත් කෙරෙන රාජාඥාවක් ද නිකුත් කරන ලදී.මෙම මර්දන නිති නොතකා 1893 සැප්තැම්බර් 13 දින ලංකාවේ මුද්‍රණ කම්කරුවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. එය මර්දනය කිරීමට රජය පියවර ගත්තත්, එහි ප්‍රතිඵලයක් ලෙස වරාය, දුම්රිය ආදී බොහෝ තැන්වල වෘත්තීය සමිති පිහිටුවාගෙන කම්කරු පන්තිය සිය ආර්ථිකවාදි ඉල්ලීම් උදෙසා පෙළ ගැසෙන්නට විය.
ලංකාවේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය හිස ඔසවන්නට පටන් ගැනීමත් සමග, ඔවුන්ට දේශපාලන බලය හැසිරවීමේ අවශ්‍යතාව ද පැන නැගිනි. එහෙත් ඔවුන් යටත් විජිත භාවයෙන් නිදහස ඉල්ලා සිටියේ නැත. ඔවුන් යටත් විජිත භාවය එසේම පවත්වාගෙන යමින්, තමන් එහි පාලන කොටස්කරුවන් කරන ලෙස ඉල්ලා සිටින ලදී. සංවිධානාත්මකව මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන ලද්දේ 1908 දි ලංකා ජාතික සමිතිය ( Ceylon National Association ) පිහිටුවා ගැනීමෙනි.එහි නායකයකු වූ සර් ජේම්ස් පීර්ස් 1908 දි කළ කථාවක දී බ්‍රිතාන්‍ය හා දේශීය වැවිලි කරුවන් අතර වූ පන්ති වුවමනාවන් හා අයිතිවාසිකම් අතින් පැවති සර්ව සම භාවය ඉතා අවංක ලෙස පිළිගනිමන් මෙසේ ප්‍රකාශ කර ඇත. “ අපි බොහෝ දෙනෙකු වැවිලිකරුවෝ වෙමු…. අප රට තුළ ප්‍රාග්ධනය ගෙන ඒම ගැනත්, අප හැමට සමෘද්ධිය ලගා කරගැනීම සදහා ඇති මාර්ගය පෙන්වා දීම ගැනත්, බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට ප්‍රසංශා කළ යුතු ය. … ලාංකික වැවිලිකරුවන් සහ යුරෝපීය වැවිලිකරුවන්ගේ වුවමනා හා අයිතිවාසිකම් සර්ව සම ය.” මෙම ප්‍රකාශය තුලින් ම ලාංකික කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ පන්ති අවශ්‍යතාවන් පැහැදිලි වේ.
යටත් විජිත ආණ්ඩුවේ තනතුරු දිනා ගැනීමේ අරගලය මෙහෙයවිම සදහා ලාංකික ධනපති පන්තිය විධිමත්ව සංවිධානය වූයේ 1919 දි ය. ඒ ලංකා ජාතික සංගමය ( Ceylon National Congress ) පිහිටුවා ගැනීමෙනි. එහි අරමුණ වූයේ යටත් විජිත භාවයෙන් නිදහස ලබා ගැනිම නොවේ. අවම වශයෙන් යටත් විජිත ආණ්ඩුව අපහසුතාවට පත් කිරිමටවත් ඔවුහු අකමැති වූහ. 1920 ප්‍රතිසංස්කරණය අනුව පැවැත්වූ මැතිවරණය වර්ජනය සදහා ගෙනෙන ලද යෝජනාව සම්බන්ධයෙන් ඔවුන් දැරූ මතයෙන් ඒ බව තහවුරු වේ. ඒ පිළිබදව සර් ජේම්ස් පීරිස් මෙසේ පැවසීය. “ ආණ්ඩුවට විරුද්ධව සහයෝගිතා වර්ජන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපි විරුද්ධ වෙමු. එය ආණ්ඩුවට අවහිරකාරී ක්‍රියාවක් වන බැවින් අපි එයට විරුද්ධ වෙමු.”
එපමණක් නොව, ඔවුන් නිදහස ඉල්ලීමට ද එකග නොවී ය. 1922 ලංකා ජාතික සංගමයේ සුමුලුව අමතමින් එහි නායකයකු වූ එච්. ජේ.සී පෙරේරා මෙසේ ප්‍රකාශ කළේ ය.” අපි නිදහස ගැන කථා නොකරමු.අපි කිසි දා නිදහස නොඉල්ලුවෙමු. එය ඉල්ලීමට තරම් මෝඩයන් ද නොවෙමු. අපේ අරමුණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රිතාන්‍ය පුරවැසියන් වීමයි.”
යටත් විජිත භාවයෙන් නිදහස ලැබීම පිළිබද අදහස ශ්‍රී ලංකාව තුළ පළමුවෙන් ම ඉදිරියට ගෙන එන ලද්දේ කම්කරු පන්තිය විසිනි. ඒ 1920 ගණන්වල දී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නායකයකු වූ ඒ.ඊ. ගුණසිංහ ප්‍රමුඛ ලංකා කම්කරු සංගමය විසිනි. ( මේ සංවිධානය බ්‍රිතාන්‍ය ෆේබියන් සමාජවාදි ව්‍යාපාරය සමග සබදතා පවත්වා ඇත) එහි නායකයා වූ ගුණසිංහ 1922 දී මෙසේ ප්‍රකාශ කර ඇත. “ බ්‍රිතාන්‍ය රජු අහම්බෙන් අපගේ රජු වූ පමණින් ඔවුහු අපගේ පාලකයන් නොවන්නාහු ය.එබැවින් විධිමත්ව අධිරාජ්‍ය පාලනය ප්‍රතික්ෂේප කොට ස්වරාජ්‍ය ඉල්ලිය යුතු ය. “
ලාංකික ජනයාගේ සැබැ නිදහස පිළිබද අදහස පළමු වරට ජනතාව අතරට ගෙන එන ලද්දේ 1935 දෙසැම්බර් 18 දින පිහිටවූ ලංකා සමසමාජ පක්ෂය විසිනි. එය ලංකාවේ පළමුවන වාමාංශික පක්ෂය වූවා පමණක් නොව, ට්‍රොට්ස්කිවාදයේ අභාෂය ලැබුවා වූ ද පක්ෂයකි. එහි මූලික අරමුණු තුනක් විය. එනම්,
- පූර්ණ ජාතික නිදහස දිනා ගැනීම
- ද්‍රව්‍ය නිපදවිම, බෙදාහැරීම,හුවමාරුව හා අයිතිය මහජනයා අතට පවරා දීම
- සමසමාජ ක්‍රමයක් පිහිටුවීමෙන් අසාධාරණ සංරක්ෂණය හා සමාජ තත්ත්වයෙන් ඇතිවී ඇති පන්ති, කුල ආදී භේද නැති කිරිම
ලංකා සමසමාජ පක්ෂය ඇත්ත වශයෙන් ම අධිරාජ්‍ය විරෝධී බව හා ලංකා ජාතිසංගමයේ අධිරාජ්‍ය ගැති බව දෙවන ලෝක යුද්ධ සමයේ මොනවට කැපී පෙනිණි. එම අවස්ථාවේ ඩී.එස්. සේනානායක මුලු හදින් ම අධිරාජ්‍ය ආණ්ඩුවට සහාය පල කිරීමේ යෝජනාවක් රාජ්‍ය මන්ත්‍රන සභාවට ඉදිරිපත් කළ අතර, එයට එරෙහිව ලංකා සමසමාජ පක්සයේ රාජ්‍ය මන්ත්‍රන සභා මන්ත්‍රිවරයකු වූ පිලිප් ගුණවර්ධන මෙසේ අදහස් දැක්වී ය. “අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් සඨන් කරන්නට අප සූදානම් නැත. වස්තුව බෙදාගැනීමට පොර කන, එංගලන්තයේ සිටින දඩයක්කාරයන් වෙනුවෙන් සල්ලි ගරා දීමේ වැඩපිළිවෙලක මූනිස්සම් බවට පත් වීම අපි ප්‍රතික්ෂේප කරමු. ලංකා සමසමාජ පක්ෂ සාමාජිකයන් නියම ජාතික විප්ලවවාදි හමුදාවකට බැදෙන්නට සූදානම් ය. එහෙත් ලාංකික ආරක්ෂක බලඇණියට බැදීම අපි ප්‍රතික්ෂේප කරමු. මෙම බලඇණිය පාවිච්චි කෙරෙන්නේ එංගලන්තය වෙනුවෙන් සඨන් කිරිම සදහා මිස, මේ රටේ මිනිසුන්ගේ සඨන් සදහා නොවේයයි අපි විශ්වාස කරමු.”
ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සභාපතිවරයා වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා 1948 මාර්තු 05 දින බෙංගාලයේ උලුබේරියාවේ පැවති බෙංගාලි ශිෂ්‍ය සම්මේලනයේ වාර්ෂික සුම්‍රුඵවේ ආරම්භක දේශනය පවත්වමින් මෙසේ ප්‍රකාශ කළේ ය.
“ නිදහස යනු කුමක් ද? නිදහස යනු ආණ්ඩු කරන්නේ කවුරුන්ද යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ පාලනය සිදුවන්නේ කාගේ, එනම් කොයි පන්තියේ අවශ්‍යතාව සදහා ද යන්නයි. එසේ නොවුවහොත් දුඹුරු පාට නිලධාරි පැලැන්තියක් විසින් සුදු පාට නිලධාරි පැලැන්තියක් විස්ථාපනය කර නිදහස පිලිබද මායාවක් ඇති කිරිමට පමණක් නොව, සැබවින් ම නිදහස තිබේ යන මායාව ද මවන්නට පුලුවන.”
නිර්ධන පන්තියේ බලයක් පිහිටුවීම මගින් සැබැ ජාතික නිදහස දිනා ගැනීම වෙනුවෙන් ලංකා සමසමාජ පක්ෂය හා බෝල්ෂෙවික් ලෙනිනිස්ට් ( ලංකා ශාඛාව) පක්ෂය ගෙන ගිය අරගලය දුටු එවක ලංකාවේ කොම්ප්‍රෙදෝරු ධනපති පන්තියේ සංවිධානය වූ ලංකා ජාතික සංගමය විසින් ද 1942 දී නිදහස ඉල්ලීමට තීරණය කරන ලදී. ඒ අනුව දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග ඇති ලෝක බලතුලනය හා අනෙකුත් තතත්වයන් ද සැලකිල්ලට ගෙන ලාංකීය ධනපති පන්තිය සමග පාලන බලය හුවමාරු කර ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයෝ කැමැත්ත ප්‍රකාශ කළ හ. එහි ප්‍රතිඵලයක් ලෙස 1948 බෙරවාරි 04 ලංකාවට “නිදහස” ලැබිණි. ඒ පිලිබදව කොල්වින් ආර් ද සිල්වා මෙසේ ප්‍රකාහ කළේ ය.
“ වහල් ධනේශ්වරය තම අධිරාජ්‍යවාදී ලොක්කන්ගෙන් ඉල්ලා සිටින එකම නිදහස මෙම පනතින් ඔවුන්ට ලැබිනි. ඔවුන්ට අවශ්‍ය නිදහස මහජනයාගේ නිදහස නොව තමන්ගේ නිදහස යි.”
ලංකාවට ලැබුණු නිදහස යනු “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව බැදී ඇති දම්වැල් අලුතින් වාත්තු කිරීමක්” යයි කොල්වින් තව දුරටත් ප්‍රකාශ කළේ ය.
ඒ බව පැහැදිලි වන්නේ 1947 ජනවාරි 26 Times of Ceylon පුවත්පලවූ ලංකාවේ පළමු වන අගමැති වූ ඩි.එස්. සේනානායකගේ ප්‍රකාශයකිනි. ඒ මෙසේ ය. “ රාජ්‍ය සේවකයන්ට කුමන තත්ත්වයක් යටතේවත් දේශපාලන අයිතිය හිමි නොවිය යුතු ය. රජය කිසි විටෙකත් නිල වශයෙන් වෘත්තීය සමිති පිි නොගනු ඇත “
ඇත්ත වශයෙන් ම 1948 සිදු වූයේ ලංකාවේ පැවති ඍජු අධිරාජ්‍යවාදී පාලන ක්‍රමය, වක්‍ර ලෙස වෙනත් පුද්ගලයන් වෙත මාරු වීම ය. එනිසා ම බ්‍රිතාන්‍ය රජු තවදුරටත් ලංකාවේ රජු ද විය. ලංකා පාර්ලිමේන්තුවට නිති පැනවීමේ පූර්ණ බලය හිමි නොවීය. ලංකාවේ අවසාන අභියාචනාධිකරණය බ්‍රිතාන්‍ය රාජාධිකරණය විය. එයින් පැහැදිලි වූයේ ලංකාවේ දේපල හිමි ධනපති පන්තියටවත් 1948 පෙබරවාර් 04 දින නිදහස හිමි නොවූ බවයසෙිදු වූයේ බ්‍රිතාන්‍යයන්ගේ සුවච කීකරු ලාංකික ධනපති පන්තියට අධිරාජ්‍ය පාලනය විරුද්ධ නොවන ආකාරයේ කටයුතු කරගෙන යාමට බලය පැවරීමයි. ඒ බව තවදුරටත් තහවුරු කරමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් එවක අගමැතිවරයා වූ ඩී.එස්.සේනානායක වෙත 1950 ජනවාරි 01 දින බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රි මණ්ඩලයේ සාමි පදවියක් ( Privy Councillor ) පදවියක් පිරිනමනු ලැබිණි.