වික්‍රමබාහු

ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ තුන් වන පරපුරේ නායකයකු වූ  වික්‍රමබාහු කරුනාරත්න සහෝදරයා 2024 ජූලි 25 දින මිය ගියේ වසර 81 ක් ආයු වැළදීමෙන් පසුව ය. ඔහු උපත ලද්දේ 1943 මාර්තු 08 වන දින දී ය.

වික්‍රමබාහු කරැණාරත්න සහෝදරයා ලංකාවේ ඉහළ මධ්‍යම පන්තික ප්‍රභූ සමාජය සමග පවුල් සබ‍දතා පැවති පුද්ගලයෙකි. ශ්‍රී ලංකාවේ කොම්ප්‍රදෝරු  ධනපති පන්තියේ දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් 1953 -1956 දක්වා අගමැති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා ඔහුගේ ඥාතියකු බව ප්‍රකට ය. ඔහු බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ, න්‍යායාත්මක භෞතික විද්‍යාවේ ව්‍යවහාරික ගණිතය (Applied Mathematics of Theoretical Physics) දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතුවල නියැලී ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබෙන්නේ, “සූර්ය ගිනිදැල් මත  උත්පාදනය වන විද්යුත් චුම්භක විකිරණ” (Electromagnetic radiation generated on solar flares ) නම් වූ නිබන්ධනයට ය. ඔහුගේ සමකාලීන කේම්බ්‍රිජ් සරසවි පර්යේෂකයන් අතර, ලොව ප්‍රකට භෞතික විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ග් (Stephen Hawking ) ද විය.

වික්‍රමබාහු ලසසප ට  බැදෙන්නේ 1962  ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවකුව සිටි අවදියේ ය. ඒ වකවානුව වන විට ස්ටාලින්වාදී සෝවියට් මතවාදය මගින් පෝෂණය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින්, ශ්‍රී ලංකාවේ ස්වදේශික ධනපති පන්තියේ සහ වැඩවසම්වාදී  පන්ති  බලවේගවල  පක්ෂය වූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -SLFP – ප්‍රගතිශීලි ධනපති පක්ෂයක් ලෙස හදුන්වමින් තිබිණි. ලංකා සමසමාජ පක්ෂය ද 1954 පමණ වන විට මෙම මතවාදය වැළද ගනු ලැබුයේ ඔවුන් නියෝජනය කළ මයිකල් පැබ්ලෝ නායකත්වය දැරූ  එක්සත් ලේකම් මණ්ඩලයේ අදහස් අනුව යමිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය- CPSL – හා ලංකා සමසමාජ පක්ෂය – LSSP-  1964 දී SLFP  සමග සභාග ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලදී. කෙටි කලකින් එම ආණ්ඩුව බිද වැටිණි. යළි 1970 දී  SLFP – LSSP  හා CPSL එකතුව සභාග ආණ්ඩුවක් පිහිටුවන ලදී.

සභාග දේශපාලනයට එරෙහිව LSSP තුළ පළමුව විරෝධය මතු වන්නේ 1964 දී ම ය. ඒ අනුව සභාග දේශපාලනයට එරෙහිව එඩ්මන්ඩ් සමරක්කොඩි, මෙරිල් ප්‍රනාන්දු නම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනා සහ LSSP හි ප්‍රධාන ම වෘත්තීය සමිති නායකයකු වූ බාලා තම්පෝ අතුලු පිරිසක් එයින් ඉවත්ව විප්ලවාදී ලංකා සමසමාජ පක්ෂය ලෙස සංවිධානය විය.  එහෙත් එය වැඩි කල් නොගොස් න්‍යායික මත භේද මත සංවිධාන ගණනාවකට වෙන්ව යන ලදී.  අද වන විට එසේ වෙන්ව ගිය පිරිස් අතරින් සක්‍රියව පවතින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමණි.

LSSP හි සභාග දේශපාලනයට එරෙහි දෙවන කැරැල්ල මතුවන්නේ 1972 LSSP සමුලුව තුළ ය. එහි දී සභාග ආණ්ඩුවේ ඇමතිකම් දැරූ ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන ආදී නිල නායකත්වයේ දේශපාලන යෝජනාවට එරෙහිව විකල්ප යෝජනා දෙකක් ඉදිරිපත් විය. දෙවන යෝජනාව ලෙස එවක වෘත්තීය සමිති නායකයකු වූ  ඩී.ජී. විලියම් සහ ඔස්මන්ඩ් ජයරත්නගේ මූලිකත්වයෙන් ගෙන ආ යෝජනාවයි. එයින් ප්‍රකාශ කෙරුණේ LSSP ආණ්ඩුවේ ඇමති තනතුරු අත්හල යුතු බව සහ එහෙත් ආණ්ඩු පක්ෂයේ සිටිය යුතු බවයි. තුන් වන යෝජනාව ඉදිරිපත් කලේ සිරිතුංග ජයසූරිය ( වර්තමාන එක්සත් සමාජවාදී පක්ෂයේ ලේකම)  සහ සී.ඒ.එස්. වික්‍රම යන දෙදෙනායි. එයින් ප්‍රකාශ කෙරුණේ LSSP  සම්පූර්ණයෙන් සභාග දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි.

වික්‍රමබාහු 1972 වන විට LSSP  හි මධ්‍යම කාරක සභියකු විය. 1972 LSSP සම්මේලනයට ඉදිරිපත් කළ තුන් වන දේශපාලන යෝජනාව සදහා පදනම වූයේ “ජනසතුව හා සමාජවාදය” නමින් වික්‍රමබාහු ඉදිරිපත් කල න්‍යායික ලියවිල්ල බව සිරිතුංග ජයසූරිය පවසයි. නමුත් එම සමුලුවේදී LSSP නායකත්වයේ දැඩි බලපෑම් මැද ඔවුනගේ යෝජනාව සම්මත විය.  දෙවන හා තුන් වන යෝනා පරාජය විය. අනතුරුව 1973 පෙබරවාරි මාසයේ දී වික්‍රමබාහු කරුනාරත්න, සුමනසිරි ලියනගේ, සිරිතුංග ජයසූරිය හා කොස්වත්ත පක්ෂයෙන් නෙරපා හරින ලදී. ඉන් පසු ඔවුහු “වමේ සමසමාජය “ගොඩනැගූ අතර, එහි ලේකම් තනතුරට පත් වූයේ වික්‍රමබාහු ය. ඔවුහු 1974 දී “කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුව” (Committee for a Workers’ International) සමග සම්බන්ධ විය.

වික්‍රමබාහු සහෝදරයා  ලංකා සමසමාජ පක්ෂයෙන් නෙරපීමෙන් පසුව ද සභාග දේශපාලනයට එරෙහිව LSSP තුළ පැවති අරගලය නතර නොවුනි. එහි ප්‍රතිඵලයක් ලෙස 1977  මැද භාගයේ දී වාසුදේව නානායක්කාර, රෙජිනෝල්ඩ් මැන්ඩිස් , එඩ්වින් කොතලාවල, ඔස්වින් ප්‍රනාන්දු, පී.අරසරත්නම් ඇතුලු සභාග දේශපාලනයට එරෙහි වූ විශාල පිරිසක් ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත් කරන ලදී. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ එවක පැවති බලවත් වෘත්තීය සමිති ගණනාවක් ද LSSP සමග පැවති  සබදතා අත්හරින  ලද අතර, ඔවුහු “වාම සමසමාජය” සමග එක්වූහ.

වාම සමසමාජය 1977 දෙසැම්බර් 30-31 එහි පළමු සම්මේලනය පැවැත්වූ අතර, එහිදී වික්‍රමබාහු එහි ප්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර ගැනිනි. එතැන් පටන් එය  “ලංකා සමසමාජ පක්ෂය ( නව නායක්තවය )” ලෙස හැදින්වී ය. එය “කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුව” (Committee for a Workers’ International) හි ලංකා ශාඛාව විය.

නව සමසමාජ පක්ෂයේ පළමු වන දේශපාලන මණ්ඩලය
– වමේ සිට දකුණට – ආචාරය වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය ශාන්ත ද අල්විස්, මහාචාර්ය කුමාර් ඩේවිඩ්, ඔස්වින් ප්‍රනාන්දු, සිරිතුංග ජයසූරිය,වාසුදේව නානායක්කාර, රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ගුණසේන මහානාම, එඩ්වින් කොතලාවල, ආචාර්ය සුමනසිරි ලියනගේ

1978 දී එතෙක් ලංකාවේ පැවති කැබිනට් ආණ්ඩුක්‍රමය වෙනුවට, බොනපාට්වාදී ආණ්ඩුක්‍රමයක් ඇති කිරිම පිණිස සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව LSSP නව නායකත්වය ගෙන ගිය අරගලය හේතුවෙන් වික්‍රමබාහු සිරගත කළ අතර, ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාරය ධුරයෙන් නෙරපා හරින ලදී. ඔහු එතැන් සිට පූර්ණකාලීන දේශපාලනයේ නියැලිමට තීරණය කරන ලදී.

1979 දී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දිවයින පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අතර, 1978 දි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත – Prevention of Terrorism Act සහ 1979 දී අත්‍යවශ්‍ය මහජන සේවා පනත – Essential Public Services Act – නමින් මර්දනකාරී පනත් දෙකක් සම්මත කර ගන්නා ලදී. එම වකවානුවේ  ආණ්ඩුවේ  මෙම මර්දනකාරී ක්‍රියා පිලිවෙතට එරෙහිව වාමාංශික පක්ෂවල එකතුවක් ගොඩනැගීමේ සාකච්ඡා ආරම්භ විය. එහිදී LSSP විසින් වාමාංශික එක්සත් පෙරමුණක් ගොඩනැගීමේ දී එකම නමකින් පක්ෂ දෙකක් පැවතීම බාධාවක් බව පැවසීම නිසා ලංකා සමසමාජ පක්ෂය ( නව නායකත්වය ), සිය පක්ෂයේ නම නව සමසමාජ පක්ෂය ලෙස නම් කිරීමට එහි දේශපාලන මණ්ඩලයේ බහුතරය විසින් තීරණය කරන ලදී. එයට එකගත්වය පල නොකළ වික්‍රමබාහු ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය. එම පෙරමුණ මාස දෙක තුනකට සීමා විය. ඉන් පසු පක්ෂයේ ඉල්ලීම පිරිදි වික්‍රමබාහු යලි ප්‍රධාන ලේකම් තනතුර භාර ගත්තේ ය.

1980 වන විට ලංකාවේ ද්‍රවිඩ ජාතික ප්‍රශ්නය දේශපාලන තලයේ ඉදිරියට පැමිණ තිබිනි. ලංකාවේ වාමාංශික පක්ෂ ඒ පිලිබදව හොරගල් අහුලද්දී, ජාතික ප්‍රශ්නයට එකම විසදුම ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය පිලිගැනීමයයි වික්‍රමබාහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ වර්ගවාදීන්ගෙන් ඒ පිළිබදව කුමන ගැරහුම් ලැබුනත්, ඔහු මිය යන තෙක් ම අභීතව එම මතයෙහි පිහිටා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ එක් සන්ධිස්ථානයක් වන්නේ 1980 මහා වැඩ වර්ජනයයි. එම වැඩ වර්ජනය සම්බන්ධයෙන්,  සම්ප්‍රදායික වාමාංශික පක්ෂ සහ වාමාංශිකයයි කියාගත් සමහර ප්‍රධාන වෘත්තීය සමිති දෙබිඩි පිලිවතක් අනුගමනය කරන ලදී. එහෙත් වික්‍රමබාහු එයට නායකත්වය දීම සදහා නව සමසමාජ පක්ෂය – NSSP – මෙහයවී ය.ඔහුගේ අරමුණ වූයේ එම වර්ජනය හරහා කම්කරු  පන්තියේ ස්වාධීන බලයක් ගොඩනැගීමයි. එම තත්ත්වය තුළ එවක පැවති ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව වර්ජකයන්  41, 000 ක් රැකියාවෙන් නෙරපා හරින ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස NSSP පාක්ෂිකත්වය දැරූ  වෘත්තීය සමිති නායකයින් හා  ක්‍රියාධරයන් රාශියකට රැකියාව අහිමි විය. එයින් NSSP ජීවමාන කම්කරු පන්තියෙන් හුදකලා වීම ඇරඹිණි.

                1980 වර්ජනය පාගා දැමීමට එරෙහිව 1980 අගෝස්තු 08 දින කොළඹදී මහා සත්‍යග්‍රහයක් පැවැත්විනි. එය විසුරුවා හැරීම සදහා රජය සන්නද්ධ හමුදා බලය  යොදන ලදී. ප්‍රකෝප වූ  වර්ජකයෝ කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍ර‍දේශවල පෞද්ගලික හා රාජය ආයතන ගණනාවක් විනාශ කළ හ. එහිදී වික්‍රමබාහු, වාසුදේව නානායක්කාර, ගුණසේන මහානාම, ආදීහු අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රදවාගෙන සිටින ලදී. පසුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රන යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරන ලදී.

සත්‍යග්‍රහ නඩුවේ විත්තිකරුවෙකු ලෙස වික්‍රමබාහු වාසුදේව සමග

වික්‍රමබාහුගේ “හිස”   රුපියල් 50,000 කට රජය විසින් තක්සේරු කළේ 1983 ජූලි මස රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වූ “කලු ජූලිය”ත් සමග ය.  එහිදී ශ්‍රී ලංකාවේ දකුනේ ජීවත් වු යාපනය සම්භවයක් සහිත  ද්‍රවිඩයන් දහස් ගණනක් රාජ්‍ය අනුග්‍රහය ලද මැරයන් විසින් හිංසනයට ලක් කරන ලදී. ඔවුන්ගේ දේපල කොල්ල කන ලදී. සමහරුන් මරා දැමූ හ. රුපියල් මිලියන ගණනක ඔවුන්ගේ දේපල මංකොල්ල කෑම හෝ ගිනිබත් කිරිම සිදු විය. රජය මෙම ත්‍රස්ත ක්‍රියාවේ වගකීමෙන් මිදීම සදහා NSSP ඇතුලු දේශපාලන පක්ෂ තුනක් තහනුම් කරන ලදී. වික්‍රමබාහු සහ වාසුදේව පිළිබද ඔත්තු සපයන්නෙකුට එක් අයෙකු වෙනුවෙන් රුපියල් 50,000  බැගින් ප්‍රදානය කරන බව නිවේදනය කළේ ය. ඉන් පසු මාස 11 ක කාලයක් ඔවුහු යටිබිම්ගතව දේශපාලන කටයුතු කරන ලදී.

නව සමසමාජ පක්ෂය තහනම් කර තිබූ කාලයේ යටිබිම්ගතව සිටි වකවානුවේ
— වමේ සිට දකුණට — වාසුදේව, වික්‍රමබාහු, සිරිතුංග සහ ලීනස් ජයතිලක

පක්ෂය යටිබිම්ගතව දේශපාලනය කළ කාලයේ වික්‍රමබාහු සහෝදරයාගේ දේශපාලන අදහස් සහ කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවේ (Committee for a Workers’ International) දේශපාලන අදහස් අතර මතබේද ඇති විය. ඒ සදහා බලපාන එක් කරුණක් වූයේ වික්‍රමබාහු සහෝදරයා විසින්  “ද්‍රවිඩ සමසමාජවාදියෙකුට ලිපි දෙකක් “ නමින් රචිත ලියවිල්ලයි. 1986 දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නලුවෙකු වූ විජය කුමාර තුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමා බණ්ඩරනායකගේ කණිෂ්ඨ දියණිය වු චන්ද්‍රිකා බණ්ඩාරනායක යන දෙදෙනා එම පක්ෂයෙන් වෙන්ව ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කර ගැනීමෙන් පසු, එය කම්කරු පන්තියේ ප්‍රධාන පක්ෂය ලෙස කරන ලද නිර්මාක්ස්වාදී විග්‍රහය තවත් එකකි. තවත් එවැනිම නිර්මාක්ස්වාදී විග්‍රහයක් ඔහු විසින් ඉදිරිපත් කරන ලද්දේ 1987 රජීව් – ජේ.ආර්. ( ඉන්දු ලංකා ) ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ය. ඉන්දියානු ධනපති පාලක පන්තිය   අනාගමික වන හෙයින්, ඔවුන් අනෙකුත් ධනපති පාලකයන්ට සාපේක්ෂව ප්‍රගතිශීලී බවත්, එනිසාම ඉන්දු ලංකා ගිවිසුමට හා ඉන්දීය සාම සාධක හමුදාවට උපායිකව සහයෝගය දිය යුතු බවත්, ඔහු මෙම වකවානුවේ ප්‍රකාශ කළේ ය. මෙම නිර්මාක්ස්වාදි  විග්‍රහයන් නිසා 1989 දී වික්‍රමබාහු සහෝදරයා ඇතුලු NSSP බහුතර කණ්ඩායම කම්කරු ජාත්‍යන්තරයක් සදහා වූ කමිටුවෙන් ඉවත් කරන ලදී.

ඔහුගේ දේශපාලන පරිහානියේ අවසාන භාගයේ එනම්, 2015 ජනාධිපතිවරණයේ දී හා 2016 මහා මැතිවරනයේ දී ලංකාවේ කොම්ප්‍රදෝරු ධනපති පන්තියේ දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව යහ පාලකනයක් (A good governance ) ගොඩනැගීමට උත්සාහ ගත්තේ ය. අවසානයේ 2020 මහා මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තුවට තරග කොට පරාජය විය.

                වික්‍රමබාහු සහෝදරයා 1980 ගණන්වලින් පසු දේශපාලන වශයෙන් පරිහානිය කරා ලගා වන්නේ හුදෙක් ඔහුගේ පෞද්ගලික ගති ස්වභාවය නිසා නොවේ. ඇත්ත වශයෙන් ම කම්කරු පන්ති ව්‍යාපාරය තුළ හා නව සමසමාජ පක්ෂය තුළ ඇති වූ විවිධ හැලහැප්පීම් ඒ සදහා බලපෑවේ ය. විශේෂයෙන් ම 1980 මහා වැඩ වර්ජනය පරාජය වීම හේතුකොටගෙන පක්ෂයට සම්බන්ධ කම්කරු පන්ති ක්‍රියාධරයන් සිය ගණනකට රැකියාව අහිමි වී විසිර යාම හා කම්කරු පන්ති ව්‍යාපාරය බිද වැටීම එක් හේතුවකි. තවත් හේතුවක් වූයේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාව තුළ සිටි වික්‍රමබාහු සහෝදරයා සමග වාද  විවාද කළ හැකි ප්‍රාමාණික උගතුන් ලෙස සැලකුණු ආචාර්ය සුමනසිරි ලියනගේ, ආචාර්ය ශාන්ත ද අල්විස්, ආචාර්ය කුමාර් ඩේවිඩ්, ආචාර්ය ක්‍රිෂ් මඩපාත ආදීහු 1982 න් පසු එක්කෝ පක්ෂය හැර ගියහ. නැතහොත් විදේශ ගත වූහ. ඒ සමග ම වික්‍රමබාහු සහෝදරයා පක්ෂය තුළ සිටින එකම ප්‍රාමාණික උගතා ලෙස සලකා බොහෝ සහෝදරවරු ඔහු අනුව ගමන් කළහ.

ඒ කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසදීම සදහා ජාතීන්ගේ ස්වයං නිර්නය අයිතිය තහවුරු කළ යුතු බවට ගෙන ගිය අරගලය සහ මුල් යුගයේ සභාග දේශපාලනයට එරෙහිව ගෙනගිය අරගලයත්, කම්කරු පන්තියේ ස්වාධීන බලයක් ගොඩනැගීම වෙනුවෙන් දශක ගණනාවක් ගෙනගිය මතවාදී අරගලයත්, ජන අරගලයකින් ශ්‍රී ලංකාවේ ධනේශ්වර  පාලනය බිද දමා කම්කරු පන්තිය අතට බලය ගත යුතු බව පෙන්වා දීමත් ( ලාංකික සමාජයට ජන අරගලය යන වචනය හදුන්වා දුන්නේ ඔහු ය.) ලංකාවේ  ට්‍රොට්ස්කිවාදී ඉතිහාසය තුළ මකා දැමිය නොහැකි වනු ඇත. එය සැබෑ ට්‍රොට්ස්කිවාදීන්ගේ ඇගයිමට ලක්වනු ඇත.