ශ්‍රී ලංකාවේ ගුරු- විදුහල්පති වෘත්තීය සටන 2024 මැයි 30-31

මාක්ස්වාදීන් නැත්නම් සමාජවාදීන් කිසි දිනක පීඩිතයන්ගේ අයිතියක් වෙනුවෙන්, පීඩිතයන් ගෙන යන සටනකට බාධා කරන්නේ නැත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරා කර ඇත්තේ එයම ය. 1980 මහා වැඩවර්ජනය කඩා කප්පල් කිරිමට එවක ජේ.ආර්.ගේ ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ හැටි කුප්‍රකට ය. ඒ අවස්ථාවේ ජවිපෙ නායකයාගේ බිරිදගේ වැඩිමහල් සහෝදරයා වූ ද,එවක කීර්තිමත් ගුරු සංගමයක් වූ ලංකා ගුරු ගුරු සංගමයේ නායකයා වූ ද, ශ්‍රේෂ්ඨ වෘත්තීය සමිති නායකයකු වූ ද එච්.එන්.ප්‍රනාන්දු සහෝදරයාට ද සිය මස්සිනා වූ විජේවිරගේ පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ උපදෙස් දුන්නේ වැඩවර්ජනය අසාර්ථක කිරිමට පියවර ගන්නා ලෙස ය. එහෙත් ඔහු සැබැ මාක්ස්වාදියෙකු ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජවිපෙන් ද ඉවත් වී වැඩවර්ජනය සාර්ථක කිරිමට පියවර ගත්තේ ය.

2024 මැයි 30/31 ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු සංගම් ගණනාවක් අසනීප නිවාඩු වාර්තා කරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියහ. මේ මොහොතේ වර්ජන/අසනිප නිවාඩු වාර්තා කරනය/ පිකටිං ආදියට ආණ්ඩුව බිය වී සිටි. එහෙත් ජවිපෙ ගුරු සංගමය සහ ලගුස ප්‍රමුඛ ගුරු සන්ධානය 30/31 අසනිප වාර්තාකරණය ආණ්ඩුවේ වැඩක්යයි පවසමින් එය කඩාකප්පල් කිරිමට පියවර ගත්තේ කාගේ වුවමනාවට ද? එපමණක් නොව ලංකාවේ ලොකුම ගුරු විදුහල්පති සංගම්වල එකතුව යයි පවසන ඔවුන් අසනීප නිවාඩු වාර්තාකරණයට සහභාගි නොවන බව පවසමින් අධ්‍යාපන ඇමතිවරයාට හා අධ්‍යාපන අමාත්‍යංශයට සහතිකයක් ද ලබා දි ඇත.

මේ සංගම් දෙකම පසුගිය යහපාලන ආණ්ඩුවට රෙදි නැතිව කඩේ ගිය බව කවුරුත් දන්නා සත්‍යයකි. එම ආණ්ඩුවේ නිල නොවූ ප්‍රධානියා අද රටේ ජනාධිපතිවරයා ය.. එනිසා තම පැරණි ස්වාමියා අර්බුදයට යාම වලකා ගැනීම ඔවුන්ගේ අරමුණ විය හැකිය.

මේ මොහොතේ ලගුස ක්‍රියාකාරිත්වය දකින විට අහෝ. එච්.එන් සහෝදරයා හිටියා නම් කියලා සිතෙනවා. ඔහු නෑකම වෙනුවෙන් වත් පන්ති සටන් පාවා නුදුන්නත් ඔවුන්ගේ වත්මන් උරුම කරුවන් අද කරන්නේ ඔහුගේ නම විකුනමින් ඔහුගේ ක්‍රියාමාර්ගයන්ට පසු පස හැරවීමයි.

ජවිපෙ ගුරු සංගමය මේ සටනට එරෙහිවීම තේරුම් ගත හැකිය .සෑම වැඩවර්ජනයකින් ම සාමාන්‍ය ජනතාව අපහසු තාවට පත්වේ. එවිට වැඩවර්ජනය මෙහෙයවන සංවිධානයන් කෙරෙහි ජනතාව කලකිරේ. එනිසා මේ මොහොතේ

ඡන්දයක් කට උඩ තියාගෙන වැඩවර්ජන කිරිම මන්ත්‍රි සිහින මාලිගය කඩා වැටීමට හේතුවේ. එනිසා ලබන මහා මැතිවරනයේ දී ඡන්ද අපෙක්ෂකයකු ලෙස තරග කිරිමට බලාපොරොත්තුවන ජවිපෙ ගුරු සංගම් නායකයාගේ මන්ත්‍රි සිහිනයට ගුරුවරුන්ගේ ලෙඩ නිවාඩු/ වර්ජන ආදිය බාධකයක් වන බැවින් එයට එරෙහි වීම තේරුම් ගත හැකි ය.

මේ මොහොතේ ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ක්‍රියාකාරිත්වය අපැහැදිලි ය. සැම මොහොතේම පන්ති සටන ගැන කතා කරන ඔවුන් මේ මොහොතේ 30/31 අසනීප නිවාඩු අරගලය පාවා දෙන්නන් ගේ ගොඩේ ද? එහෙම නැත්නම් ගුරුවරුන්ගේ පැත්තේ ද? ඔවුන්ගේ ක්‍රියකාරිත්වය පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සැබැ මුහුණුවර නිර්ධනයින්ට පෙන්වාදෙන ලිට්මස් පරික්ෂණයක් වනවා ඇත.

අප ගැන ද ලිවිය යුතු ය. අප 30/31 සටනට සහාය දෙනවා මෙන්ම ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් ගුරු විදුහල්පති අයිතින් දිනා ගැනීම වෙනුවෙන් ජූනි 26 යම් අරගලයක් කරන්නේ නම් එයට ද කොන්දේසි විරහිතව සහාය පළ කරමු. ඔවුන්ගෙයි අපෙයි වෙනස එයයි.

සම්ප්‍රදායික ගුරු සංගම් ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අසාර්ථක කිරිමට උත්සාහ කිරිම මගින් ප්‍රශ්න කෙරෙන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ ‘‘සමාජවාදය“ වෙනුවන් පෙනී සිටින්‍නේය යනුවෙන් කරන ප්‍රකාශ තවදුරටත් සත්‍යය ද ? යන්නයි. ලෙනින් විප්ලවයට පෙර සාර් පාලනයට එරෙහිව රුසියාවේ පැනනැගුණු අරගලවලදී එයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්න කළේ නැත. තමන් එහි නායකත්වය ගත යුතු බවත්, තමන් හැරුනු විට වෙනත් පුද්ගලයකු හෝ කණ්ඩායමක් අරඹන සටන් සියල්ල ද්‍රෝහිකම් ලෙස හංවඩු ගැසුවේත් නැත. ඔහු කළේ වෙනත් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් අරඹන සටන් ඉදිරියට ගෙන යමින් සාර් පාලනයට එරෙහිව ජනතාව පෙළ ගැස්විමයි.

එහෙත් සමාජවාදී පක්ෂයක ගුරු වෘත්තීය සමිතියක්යයි කියා ගන්නා ලංකා ගුරු සේවා සංගමය හා ‘‘ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය“ වෙනුවෙන් පෙනී සිටින බවත්, සමාජවාදී බවත් ප්‍රකාශ කරන ලංකා ගුරු සංගමයත් 2024 මැයි 30 හා 31 දිනවල සිය වැටුප් විෂමතා ගැටලුව විසදන ලෙස රජයට බලකරමින් ගුරුවරුන් විසින් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරිමට විවිධ පියවර ගත්හ.වරෙක එය රාජපක්ෂවාදී ගුරු සංගමයක අවශ්‍යතාව මත කරන්නක බව පැවසූහ. තවත් විටක විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වූ සමගි ජනබලවේගයේ මෙහෙයවීම කරන්නක් බව පැවසූහ. ඒ සමගම ඔවුන් අමතක කළ දෙයක් විය. එනම් තම ගුරු වෘත්තීය සමිති ද යම් යම් දේශපාලන පක්ෂවල ගුරු ශාඛාවන් වන බවයි. තමන් මෙහෙය වන්නේ නැති සෑම ගුරු වෘත්තීය සටනක්ම අසාර්ථක කිරීමට ඔවුහු විවිධ ප්‍රකාශ ඉදිරිපත් කළහ. තමන්ගේ නායකත්වයෙන් හැර වෙනත් කිසිදු ගුරු වෘත්තීය සමිතියක් විසින් කැදවනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඔවුන් සහාය නොදක්වන බවත් ඒ සෑම එකක්ම ගුරු අයිතීන් දිනා ගැනීම සදහා කරන ඒවා නොවන බවත් පැවසූහ. මෙය ඔවුන් පිළිපදිනවා යැයි පවසන මාක්ස් – ලෙනින් වාදය සමග කොතෙක් දුරට එකාග්‍ර වන්නේ ද?

මෙවන් බාධා කිරිම් මැද ගුරු විදුහල්පති වෘත්තීය සමිති දාහතරක් විසින් මෙහෙයවන ලද මැයි 30-31 අසනීප නිවාඩු වාර්තා කරනය ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා සාර්ථක විය. උතුරු නැගෙනහිර පළාත්වල හා බස්නාහිර පළාතේ යම් අසාර්ථකත්වයක් විය. උතුරු නැගෙනහිර පලාත්වල සංනිවේදන දුර්වලතාව අසාර්ථකවත්වයට බලපෑ ප්‍රධාන කරුණ විය. බස්නාහිර පළාතේ අසනීප නිවාඩු වාර්තාකරණය නිසා වසා දැමූ පාසල් සංඛ්‍යාව ඉතා සීමිත වුවත්, ගුරුවරුන්ගේ අසනීප නිවාඩු වාර්තාකරණය සියයට 40 ක් පමණ විය. වයඹ හා උතුරු මැද පළාත්වල ද තත්ත්වය එයට සමාන විය. එහෙත් සබරගමුව, දකුණ යන පළාත්වල පාසල්වලින් සියයට 80 ක් පමණ වැසී ගියේ ය. මෙයින් දකුණු පළාත ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ ලංකා ගුරු සේවා සංගමයේ දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුනේ බලකොටුවකි. මධ්‍යම පළාතේ ප්‍රධාන පාසල් සියල්ලම වාගේ වසා දැමිනි. විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය තුළ එය වඩාත් සාර්ථක විය. අනෙකුත් පාසල්වල ගුරුවරුන්ගෙන් සියයට 50 ක් පමණ සේවයට වාර්තා කළේ නැත.

ලංකාවේ ප්‍රධාන ගුරු සංගම්යැයි ප්‍රකාශ කර ගන්නා ලංකා ගුරු සේවා සංගමය හා ලංකා ගුරු සංගමය ප්‍රධාන ගුරු – විදුහල්පති සංධානයේ බාධා කිරිම් හා රජයේ බාධා කිරිම් මැද ගුරු – විදුහල්පතිවරුන් මෙලෙස අසනීප නිවාඩු වාර්තාකරණයක් සාර්ථකව සිදුකිරීමෙන් පෙන්නුම් කරන කරුනු කිහිපයකි. ඉන් පළමු වැන්න වන්නේ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව නිසා ඔවුන් දැඩි ආර්ථික පීඩාවකට ලක්ව ඇති බවයි. එබැවින් වෘත්තීය සටන් මෙහෙයවන්නේ කරවුරුන් විසින් ද යන්න ඔවුන්ට ගැටලුවක් නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ කවරකු විසින් මෙහෙයවන වෘත්තීය සටනකින් හෝ තම ආර්ථික ගැටලුවලට විසදුම් ලබා ගැනීමයි. දෙවැන්න වන්නේ තවදුරටත් සම්ප්‍රදායික ගුරු සංගම් ලංකාවේ ගුරු විදුහල්පති ක්ෂේත්‍රය කෙරෙහි බලපෑම් කළ හැකි ඒකාධිකාරය බිදවැටී ඇති බවයි. තෙවැන්න වන්නේ සම්ප්‍රදායික ගුරු සංගම් ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලු විසදාලීම සදහා නොව සිය හාම්පුතුන් වන දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම් ඉටු කිරිම පිනිස ගොඩනගාගෙන ඇති වෘත්තීය සමිති බව ගුරු විදුහල්පති ප්‍රජාවගෙන් බහුතරයක් තේරුම් ගැනීමට පටන් ගැනීමයි.