ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් සීමාවෙයි?
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්පයක් වන්නේ ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය නායකත්වය සදහා තරග කළ හැකි විමයි. ඒ සදහා ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ අනෙකුත් මැතිවරණ සදහා ඉදිරිපත්වීමට පුරවැසියන්ට අවස්ථාව සලසා දිය යුතු ය. එම තනතුරු සදහා තරග කිරීමේ දි පුරවැසියන්ගේ පෞද්ගලික චරිත ස්වභාවයන් පදනම්කරගෙන යම් යම් සිමාවන් පනවා තිබිය හැකි වුවත්, දේපල හිමිකම්, සමාජ තත්ත්වය ආදිය සැලකිල්ලට නොගත යුතු ය. එනිසා තරග වදින්නෙකු විසින් තැන්පත් කළ යුතු ඇප මුදලක් වේ නම්, එය තරග කරන්නාට දැරිය හැකි මට්ටමේ එකක් විය යුතු ය.
ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රමය මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට තරග කිරිම සදහා සීමා පනවන ලදී. ඒ අනුව ජනාධිපති ධුරයට තරග කළ හැක්කේ පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට හෝ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ හිටපු හෝ සිටින මන්තිර්‍වරයෙකුට පමණි. එනිසා රාජ්‍ය නායකත්වය සදහා සිහින මැවිය හැකි වන්නේ ශ්‍රී ලංකාවාසීන්ගෙන් 1000 ක පමණ ප්‍රමාණයකට ය.
පසුගිය අප්‍රියෙල් මස 9 දා කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපති ධුරයට තරග කිරිම තවදුරටත් සීමා කිරිම සදහා වූ කොන්දේසි සැකසීමට නීති කෙටුම්පත් අංශවලට උපදෙස් දීමට තීරණය කරන ලදී. ඒ අනුව මෙතෙක් කල් පිලිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂයකු විසින් තැන්පත් කළ යුතු රුපියල් 50,000 ක ඇප මුදල රුපියල් 26,00,000 දක්වා ද, ස්වාධීන අපේක්ෂයකු විසින් තැන්පත් කළ යුතු වූ රුපියල් 75,000 ක ඇප මුදල රුපියල් 31,00,000 දක්වා ද වැඩිකිරීමට තීරණය කර ඇත.
මෙතක් කල් පිලිගත් දේශපාලන පක්ෂයකින් තරග කරන පාර්ලිමේන්තු හෝ පළාත් සභා අපේක්ෂයන් සදහා ඇප මුදල් තැන් පත් කිරීමේ අවශ්‍යතාවක් නොවිනි. එහෙත් වත්මන් තීරණය අනුව පිලිගත් දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් කිරීමේ දී රුපියල් 11,000 ක ඇප මුදලක් අවශ්‍යයි තීරණය කර ඇත, ස්වාධීන අපේක්ෂයකු විසින් තැන්පත් කළයුතු වූ රුපියල් 2000 ක් වූ ඇප මුදල රුපියල් 16,000 ක් දක්වා ද වැඩි කිරීමට තීරණය කර ඇත. පළාත් සභා සදහා වූ පිලිගත් දේහපාලන පක්ෂයක අපෙක්ෂයකුගේ ඇප මුදල රුපියල් 6,000 ක් විය යුතුයයි තීරණය කර ඇත. පළාත් සභා සදහා වූ ස්වාධීන අපේක්ෂයකුගේ ඇප මුදල රුපියල් 2000 වෙනුවට රුපියල් 11,000 විය යුතුයයි තීරණය කර ඇත.
ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ඇප මුදල ඉහළ නැංවීම මගින් වාමාංශික දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අදහස පසුබැස්සවීමට පියවර ගනිමින් තිබේ. එතරම් විශාල ඇප මුදලක් තැන්පත් කිරිමට වාමාංශික දේශපාලන පක්ෂ සතු ධනයක් නොමැති වීම එයට හේතුවයි. මෙම තීරනයන් නිසා ධනවතුන්ට හා ධනවතුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට පමණක් ජනාධිපති ධුර අපේක්ෂකත්වයේ දොරටු විවෘත කිරිමට වත්මන් පාලනය උත්සාහ ගනිමින් සිටී.
පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණ සදහා තරග කළ යුත්තේ තනි තනි අපේක්ෂකයන් නොවේ. ඉදිරිපත් කළ යුත්තේ අපෙක්ෂක ලැයිස්තු ය. ඒ අනුව එක් අපේක්ෂක ලැයිස්තුවක් සදහා වන ඇප මුදල අති විශාලය. එය ද ආර්ථික වශයෙන් දිලිදු දේශපාලන පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට දැරිය නොහැකි බරකි. එමගින් මෙම ආයතනවලට දිලිදු පක්ෂ හෝ කණ්ඩායම් තරග කිරිම වැලැක්වීමට හැකි වනු ඇතැයි ද, එනිසාම එම ආයතන ධනවතුන්ගෙන් පිරි ආයතන වනු ඇතැයි ද, පාලකයන් කල්පනා කරනවා විය හැකි ය.