1971 අප්‍රේල් කැරැල්ල- ශ්‍රී ලංකා

සියවස් එකහමාරක පමණ බ්‍රිතාන්‍ය පාලනයකින් පසු, 1948 දී ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වය ලබාගන්නා ලදී. ඉන් පසු බ්‍රිතාන්‍ය ගැති ස්වදේශික ධනපති පන්තිය විසින් මෙහෙයවන ලද  ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට එරෙහිව 1971 අප්‍රියෙල් 05 දින සන්නද්ධ කැරැල්ලකට මුහුණ  දීමට සිදු විය. එය මෙහයවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ නම් සංවිධානයක් විසිනි. එහි නායකත්වය උසුලන ලද්දේ පටබැදිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර විසිනි.

ප්‍රෝහණ විප්‍ේවීර

අප්‍රියෙල් කැරැල්ල මෑතකාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සේ සැලකිය හැක්කේ, එය පවත්නා සමාජ ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සදහා මෙහෙයවන ලද ප්‍රථම සන්නද්ධ අරගලය වු බැවිනි. එයට නායකත්වය දෙන ලද්දේ පීඩිත තරුණයන් ය. එහි මූලෝපාය වූයේ දිවයින පුරා පොලිස් ස්ථානවලට අප්‍රියෙල් මස 05 දින ප.ව. 11.30 ට එකවර පහර දී එක් රැයකින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි. කැරලිකරුවන් විසින් අප්‍රියෙල් 05 දින දිවයිනේ පොලිස් ස්ථාන 74 කට පහර දෙන ලදී. අප්‍රියෙල් 11 දින වන විට එය පොලිස් ස්ථාන 92 ක් විය. එහෙත් පහරදීමෙන් කැරලිකරුවන්ට අත්පත්කර ගත හැකි වූයේ පොලිස් ස්ථාන 5 ක් පමණි. ඒ දෙනියාය, ඌරගහ, රාජාංගනය, කතරගම සහ වරකාපොල පොලිස් ස්ථානයන් ය. කැරලිකරුවන් විසින් කරන ලද පහර දීම් නිසා පොලිස් ස්ථාන 57 කට දැඩි අලාභහානි සිදු විය. පොලිස් ස්ථාන 43 ක් පොලිසිය විසින් අතහැර දමන ලදී.

            කැරැල්ලක් ඇතිවිය හැකි බවට ආරක්ෂක අංශ විසින් රජයට අනතුරු හගවා තිබිනි. එනිසා කැරැල්ලකට මුණදීමට රජය සුදානමින් සිටියේ ය. එහෙත් ශක්තිමත්ව කැරැල්ලකට මුහණදීමට තරම් ප්‍රමාණවත් තරම් අවි ආයුධ ඇතුලු යුද උපකරන රජය සතුව නොතිබිණි. කැරලිකරුවන් සතුව ද දියුණු යුද උපකරන නොතිබිණි.  ඔවුන් සතු වූයේ පතුරොම් තුවක්කු, වෙඩි බෙහෙත් කොටන තුවක්කු හා ඉවතලන ලද බෙලෙක්කවලින් නිෂ්පාදනය කළ බෝම්බ පමණි.

            ප්‍රාථමික මට්ටමේ අවි ආයුධවලින් සන්නද්ධ වූ එම කැරැල්ලට මුහුණදීමට ප්‍රමාණවත් ශක්තියක් රජයට ද නොතිබිණි. එනිසා රජය, කැරැල්ල මැඩපැවැත්වීමට විදේශාධාර ඉල්ලන ලදී. එම ඉල්ලීමට  ප්‍රතිචාර වශයෙන් සිංගප්පූරුවේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා මධ්‍යස්ථානයේ සිට ආයුධ හා උපකරණ තොගයක් ද, සන්නද්ධ රථ 18 ක් ද එවන ලදී.  අමෙරිකා එක්සත් ජනපදය, යුගෝස්ලෝවියාව හා ඊජිප්තුව ආයුධ හා යුධ උපකරණ එවන ලදී. ඉන්දියාව හෙලිකොප්ටර් 07 ක් හා අවි තොගයක් සමග ගුර්කා භටයන් 153 ක් එවන ලදී. සෝවියට්  දේශය ඇන්ටනොව් ගුවන් යානා 04 ක්, ‘‘මිග් 15‘‘ යානා 05 ක් ,මිග් 17 යානයක් , හෙලිකොප්ටර් 02 ක් හා යුද අවි තොගයක් සමග යුද කටයුතු පිලිබද කාර්මික ශිල්පීන් ගණනාවක් එවන ලදී.

            කැරැල්ල මර්දනය කිරිම සදහා ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන් වූ ද, ලංකාවේ පැරණිම වාමාංශික පක්ෂ දෙක වූ ද ලංකා සමසමාජ පක්ෂයේ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහාය ලබා දෙන ලදී. ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ද සහාය දැක්වී ය. ලංකා සමසමාජ පක්ෂය ‘හංස රෙජිමේන්තුව‘ නම් ස්වේච්ඡා බලකායක් පිහිටුවා කැරැල්ල මර්දනයට රජයට සහාය දැක්වී ය.

කැරැල්ලත් සමග හදිසි නිතිය යටතේ අප්‍රියෙල් 09 දින ජනතා විමුක්ති පෙරමුණ සමග තවත් දේශපාලන සංවිධාන 15 ක් තහනම් කරන ලදී. ඒ අතර චීනය සමග ඍජු දේශපාලන සබදතා පැවත්වූ එන්.ශන්මුගදාසන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂය ද විය. උතුරු කොරියාව සමග පැවති තානාපති සබදතා ද රජය විසින් අත්හරින ලදී.

අප්‍රියෙල් මාසය අවසන් වන විට කැරැල්ල සම්පූර්නයෙන් මැඩ පවත්වන ලදී. කැරැල්ලේ දී 5000 ක පමණ මරණයට පත්විය. ආණ්ඩුව ප්‍රකාශ කළේ 1200 ක් මිය ගිය බවයි. සමහර වාර්තාවල මියගිය සංඛයාව 20,000 ක්යැයි සදහන් වුවත්, එය අතිශයෝක්තියක්යැයි කැරැල්ලට සහභාගිවූවෝ පවසති. කැරැල්ලට සම්බන්ධවීම නිසා අත්අඩංගුවට පත් පිරිස 20,000 ඉක්මවන ලදී.

කැරැල්ල අවසානයේ නායකත්වයේ වග කීම බාර ගත්තේද? කෙටිම පිලිතුර නැත යන්නයි. එය විප්ලවාදීන් පීඩකයන්ට එරෙහිව කරන ලද අරගලවල දී ඔවුන්ට එරෙහිව පීඩකයන් විසින් පැවරූ නඩු පිළිබද ඉතිහාසයේ කලු පැල්ලමක් විය. ඛේදවාචකයක් විය. එහිදී ජවිපෙ නායක රෝහණ විජේවීර කැරැල්ලේ සම්පූර්ණ වගකීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු ප්‍රකාශ කළේ කැරැල්ල ජවිපෙ තීරණයක් නොවන බව හා එය ලොකු අතුලගේ බෝමබ කලියේ වැඩක් බවත් ය. එහි අරමුණ විජේවීර ඇතුලු ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීම ඔහු වැඩි දරටත් පැවසීය. එපමණක් නොව මර්දනය දැරිය නොහැකි තැන ජවිපෙ ක්‍රියාකාරීන් ද අවිගෙන සටන් වැදුනු බව ඔහු තවදුරටත් පැවසී ය.

රෝහණ විජේවීර හා ඔහුගේ නීතිඥයකු වූ ප්‍රින්ස් ගුණසේකර 1971 කැරැල්ල පිලිබද නඩුවේදී අධිකරණ භූමියේ – Rohana Wijeweera and his lawyer Prince Gunasekara in the court in the 1971  insurrection  case.

මෙය වෙනත් රටවල විප්ලවවාදීන් අධිකරණ හමුවේ මුහුණ දුන් ආකාරයට හාත්පසින් ම වෙනස් ය. අවම වශයෙන් ලංකා සමසමාජ පක්ෂයේ නායකයින්  යටත් විජිත යුගයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු සිර භාරයෙන් පලාමෙන් පසු යළි අත්අඩංගුවට ගෙන නඩු පැවරූ අවස්ථාවේ අදිකරණය ඉදිරියේ කළ ප්‍රකාශයන්ට ද හාත් පසින් ම වෙන්ස් වේ. ඇන්.ඇම්. එදා  අධිකරණය ඉදිරියේ කළ ප්‍රකාශය ගැන මලල්ගොඩ බන්ධුතිලක සිය ‘‘ඇන්.ඇම්.“ නම් ග්‍රන්ථයේ මෙසේ පෙන්වා දෙයි.

විත්තිකරු අධිකරණය අමතන්නට පටන් ගත්තේ ගැඹුරු ස්වරයෙනි.

“අද මම මෙහි විත්තිතරුවකු වශයෙන් පෙනී සිටීම ගැන ආඩම්බර වෙමි. එහෙත් ඇත්ත වශයෙන් මම විත්තිකරුවෙකු නොවෙමි. මම ආණ්ඩුකාරයා විත්තිකරු කරමි.

අද නඩු විසැඳිය යුත්තේ මට විරුද්ධව නොව, මේ දුෂ්ඨ ක‍්‍රමයේ ආයුධයක් වූ ආණ්ඩුකාරයාට විරුද්ධව ය.”

නීතිඥයෝ එකිනෙකාගේ මුහුණු බලා ගෙන සිටිති. ඇල්පෙනෙත්තක් බිම වැටුණත් ඇසෙන තරමට අධිකරණ ශාලාව සන්සුන් ය. මේ ඓතිහාසික නඩුව අසන්නට පැමිණි තුන් කෝරළය ප‍්‍රධාන පොදු මහජන බල ඇණියේ මුහුණුවල දක්නට ඇත්තේ මහත් උද්‍යෝගයකි.

විත්තිකරු යළිත් අභීතව විනිශ්චයකාර තුමන් අමතයි.

ඔහු බ්රේස්ගාර්ඩල් සිද්ධිය සිහිපත් කරමින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයම දැඩි විවේචනයට ලක් කරයි. කුරිරු අධිරාජ්‍යවාදීන් අපට කළ සටකපටකම් ගැන ලුණු ඇඹුල් ඇතිව කතා කරයි.

1940 ජුනි 18 වැනිදා අප කිසිම චෝදනාවක්වත්, විනිශ්චයක්වත් නොමැතිව සිර ගෙවල ලග්ගනු ලැබ සිටියෙමු.

රුවන්වැලි දාගැබේ කොත් පැළඳ වූ මහා බෞද්ධ නායකයාගේ (ස්වදේශ කටයුතු ඇමැති සර් ඩී. බී. ජයතිලක) අස්සනින් ම අප සිර කිරීමට කැමැත්ත දීමත්, ඒ දිනයෙහිම සිර කරනු ලැබීමත් සැබවින්ම යස කි‍්‍රයාවකි.

මේ සිද්ධි දෙක ම ලංකා ඉතිහාසයේ එක් සමයකින් වෙන් කිරීමේ සීමා කණු ය. එකත් බෞද්ධ සංස්කෘතියේ පුනර්ජීවනය දක්වන්නාසේ ම, අනෙක යටත් විජිත ජනතාවගේ විමුක්ති සටන දක්වයි.

මට විරුද්ධව නගා තිබෙන චෝදනාව නම් නීත්‍යානුකූල සිර අඩස්සියෙන් පැන යාමයි. සිර අඩස්සියෙන් පැන ගියේ යැයි කීම මම පිළිගනිමි. එහෙත් ඒ සිරකරනු ලැබීම නීත්‍යානුකූල යැයි මම නොපිළිගනිමි.

විත්තිකරු දිගටම කතා කරයි. එඩිතරව, නිරවුල්ව සිය අදහස් අභීතව ප‍්‍රකාශ කරයි. ඔහු අධිරාජ්‍යවාදින් ගෙන් සමස්ත ජනතාවට මේතාක් සිදුවූ විනාශය නිදසුන් සහිතව ඉදිරිපත් කරයි. ජනතාවට අත් විඳින්නට වූ කෘර, අමනොඥ කි‍්‍රයා යළි යළිත් මතු කරයි.

අවසානයේ දී ඔහු මෙසේ අවධාරණයෙන් කියා සිටියි.

“අප සිරභාරයේ තබා ගෙන සිටීම නීති විරෝධි යයි ද, අප සිර ගෙයින් පැන යෑම නීත්‍යානුකූල යැයි ද තීරණය කිරීමට ඉහත සඳහන් කරුණු හේතු වෙනවා ඇත.” පැය ගණනාවක් තිස්සේ කළ උද්වේගකාරී කතාව ඔහු අවසන් කෙළේ ය. නමුත් අප්‍රේල් කැරැල්ලේ නායකයන් කැරැල්ලේ වගකිම බාර ගැනීමට හෝ ඒ ස‍දහා බලපෑ සමාජ – ආර්ථික- දේශපාලන හේතු පෙන්වා දෙමින් එවන් අරගලයක් කිරිමට තමන්ට පැවති යුක්ති සහගත අයිතිය පෙන්වා දීමට ක්‍රියා නොකළ හ. ඒ වෙනුවට එය කාගේ හෝ කර පිට පැටවීමට කටයුතු කළහ. අනෙක් අතට ලොකු අතුල ඇතුලු කණ්ඩායම කැරලි ගැසීම වරදක් බව කියා සිටමින් මුලුමනින්ම පාලකයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කැප වූහ.

ගංගොඩවිල විද්‍යොදය ( දැන් ශ්‍රී ජයවර්ධනපුර) සරසවියේ සිරකර තබා සිටි කැරලි කරුවන් කණ්ඩායමක් Gangodawila Vidyodaya (now Sri Jayawardenepura) University, a group of insurgents who were imprisoned

ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම

            කැරැල්ල මෙහෙයවන ලද්දේ ජනතා විමක්ති පෙරමුණ විසිනි. එහි මූලිකත්වය හා නායකත්වය ගත් රෝහණ විජේවීර , සෝවියට් දේශයේ හිතවාදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයකුගේ දරුවෙකි. සෝවියට් දේශයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු , එවක ස්ටාලින්වාදී දේශපාලන ධාරාව තුළ මතු වූ චීන – රුසියන් මතභේදයේ දි චීන මතවාදය වෙනුවෙන් පෙනී සිටියේ ය. එනිසා ම ඔහුට සෝවියට් දේශයේ වීසා අහිමි විය. පසුව එන්. ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් වූ ලංකා කොමියුනිස්ට් පක්ෂය( චීන පිල) ට ඔහු සම්බන්ධ විය. එහි පූර්ණකාලිකයෙකු ලෙස ද, තරුණ හා ශිෂ්‍ය කටයුතු පිළිබද සහකාර ලේකම්වරයකු ලෙස ද ඔහු කටයුතු කළේ ය. ෂන්මුගදාසන්ගේ විප්ලවවාදී භාවිතය ප්‍රශ්න කළ ඔහු, 1965 වෙසක් පෝය දින පක්ෂයේ ක්‍රියාකාරීන් 10 ක් සමග පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයකටත්, එමගින් නව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිමටත් තීරණය කළහ. අනතුරුව 1967 ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ( චීන පිල) ක්‍රියාකාරීන් 15 ක් සමග ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවන ලදී.

            ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අරමුණ වූයේ සන්නද්ධ අරගලයකින් රාජ්‍ය බලය අත්පත්කරගෙන සමාජවාදී පාලනයක් ගොඩනැගීමයි. ඒ සදහා ප්‍රායෝගිකවම ක්‍රියාකාරී වීම එහි ඉලක්කය විය. සන්නද්ධ අරගලය සදහා සිය සාමාජිකත්වය සූදානම් කරන ලද්දේ සුප්‍රසිද්ධ ‘පන්ති පහ‘  මගිනි. එම පන්ති පහේ සාකච්ඡා කළ මාතෘකා මෙසේ ය.

ආර්ථික අර්බුදය

ඉන්දියානු ව්‍යාප්තවාදය

ලංකාව නිදහස් රටක් ද? ( නිදහස)

වාමාංශික ව්‍යාපාරය

ලාංකීය විප්ලවය ගතයුතු මග

            මෙයට අමතරව තෝරාගත් පිරිසකට අධ්‍යයන කදවුරුවලදී මාක්ස්වාදය පිලිබද මූලික දේශන කිහිපයක් ද පවත්වන ලදී. ඒ මාතෘකා මෙසේ ය.

ද්ව්ඝඨනාත්මක භෞතිකවාදය

සං‍ශෝධනවාදය

ට්‍රොට්ස්කිවාදය

            මේ ආකාරයෙන් රහසිගතව ගොඩනැගුණු ජනතා විමුක්ති පෙරමුණ පළමුවරට ප්‍රසිද්ධ රැලියක් පවත්වන ලද්දේ 1971 පෙබරවාරි 27 දින දී ය. ඒ කොළඹ හයිඩ් පාක්හි දී ය.

ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පදනම

             ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්  ජන ප්‍රධාන ජනවර්ග තුනක් සහිත බහුවාර්ගික , බහු ආගමික සමාජයකින් යුක්ත රාජ්‍යයකි. එහෙත් ජවිපෙ ව්‍යාප්තව තිබුනේ සිංහල ජනතාව අතර පමණි. 1960 දශකයේ දී ඔවුන් වෙනත් ජනවර්ග අතර ව්‍යාප්ත වීමේ උත්සාහයක් ද ගෙන නොතිබිණි.

            ජනතා විමුක්ති පෙරමුණට මුල් යුගයේ අනෙකුත් වාමාංශික පක්ෂවල මෙන් විධිමත් සංවිධාන රටාවක් ද නොවී ය. 1971 ට පෙර ජවිපෙ සියලු කටයුතු තීරණය කරන ලද්දේ එක් පුද්ගලයකු විසිනි. එනම් විජේවීර විසිනි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව පත් කළේ, දේශපාලන මණ්ඩලය පත් කළේ, ප්‍රතිපත්ති තීරණය කළේ, අනෙකුත් සියල්ල තීරණය කළේ ඔහු විසිනි. පක්ෂයට ව්‍යවස්ථාවක් නොතිබිනි.පක්ෂයේ ව්‍යවස්ථාව ද ඔහුම විය. කෙටියෙන් සදහන් කළහොත්, මාක්ස්වාදී සංවිධානයක් විසින් අනුගමනය කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදි මධ්‍යගත භාවය, සාමූහික නායකත්වය මෙන් ම විවේචනය හා ස්වයං විවේචනය යන මූලධර්ම ජවිපෙ තුළ දක්නට නොතිබිනි.

            සමාජවාදී වැඩපිලිවෙලක්  ඉදිරියට ගෙනයා හැක්කේ කම්කරු පන්ති පදනමක් සහිත මාක්ස්වාදී දේශපාලන පක්ෂයකට පමණි. එහෙත්  ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට 1971 කැරැල්ල අවසානය වන තෙක් ම කම්කරු පන්ති පදනමකින් යුක්ත සංවිධානයක් නොවී ය. එහි පන්ති ස්වභාවය හදුනාගැනීමට පහත සදහන් සංඛ්‍යා දත්ත උපකාරි කර ගත හැකි ය.

සාමාජිකත්වයෙන් සියයට 90.8 ක් වයස අවුරුදු 30ට අඩු ය.

දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 12න් 8 ක් ශිෂ්‍යයන් හා රැකියා විරහිතයන් ය.

දිස්ත්‍රික් ලේකම්වරුන් 26 න් 20 ක් ශිෂ්‍යයන් හෝ රැකියා විරහිත තරුණයන් ය.

            පක්ෂයට කම්කරු සංවිධාන තිබුනේ ම නැත. කම්කරුවන්ගේ අරගල විජේවීර විසින් හදුන්වා දුන්නේ ‘‘කැද කෝප්ප සඨන්“ යනුවෙනි. ජවිපෙ කම්කරුවන් පිලිබදව දැක්වූ ආකල්පය විජේවීරගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයකින් ම අවබෝධකර ගත හැකි ය. එම ප්‍රකාශය මෙසේ ය. ‘‘ කම්කරුවන්ට නැතිවීමට රැකියාවක් තිබේ. රැකියා විරහිත තරුණයාට නැතිවීමට කිසිවක් නැත.“ පක්ෂයේ ක්‍රියාකාරිත්වයේ වූ අතිවිශාල බහුතරය රැකියා විරහිත හෝ ස්ථිර රැකියා නොමැති තරුණයෝ හා ශිෂ්‍යයෝ ය. ඒ අනුව එය මුලුමනින් ම පාහේ සුලු ධනේශ්වර සංවිධානයක් විය.

ජවිපෙ  බිහිවීමට බලපෑ සමාජ, ආර්ථික හා දේශපාලන හේතු

             දීර්ඝකාලීන මාක්ස්වාදී දේශපාලන සම්ප්‍රදායක් තිබූ ශ්‍රී ලංකාවේ ගරිල්ලාවාදී දේශපාලනය ක්‍රියාමාර්ගයක් ඉදිරි දර්ශනය කරගත් ‘සමාජවාදය‘ කෙරෙහි ආකර්ශිත පක්ෂයක් 1960 දශකය අවසාන භාගයේ බිහි වන්නේ ඇයි?

            ජවිපෙ බිහිවන අවදිය වන විට ලෝක ආර්ථිකය අවපාතය කරා ගමන් කරමින් පැවතිනි. ශ්‍රී ලංකාව ද එහි ගොදුරක් විය. එනිසාම ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය වූ රුපියලේ අගය ප්‍රථම වරට අවප්‍රමාණය කෙරුණේ 1965 බලයට පත් රජය විසිනි. එමගින් භාණ්ඩ මිල ඉහළ ගියේ ය. උද්ධමනය වැඩි විය. සහනාධාර කප්පාදු කරන ලදී. ජීවන වියදම ඉහළ ගියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 1974 වාර්තාවේ දැක්වෙන පරිදි තුළ රුපියලේ මූර්ත  අගය සීග්‍රයෙන් පහළ වැටිණි. ජීවන වියදම ඉහළ යාමේ වේගය ද වැඩි විය. 1961 -1965 අතර කාලයේ ජීවන අංකය 7.7 කින් ඉහළ ගිය අතර එය 1965 සිට 1970 අතර කාලයේ 25.7 කින් ඉහළ ගොස් තිබිණි. ජීවන අංකය අනෙක් අතට 1965 -70 අතර පැවති රජය විසින් විශ්ව විද්‍යාලවලින් පිටවූ උපාධිධාරීන්ට රැකියා සැපයුවේ නැත. අ.පො.ස. සා.පෙ. සමත් ( එවක එය ඉහළ අධ්‍යාපන සුදුසුකමක් සේ සැලකිණි) ලක්ෂ හතරකට වැඩි පිරිසක් 1970 වන විට  රැකියා විරහිතව සිටියහ.

            මේ අතර ලෝක පරිමානව ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව අරගලයන් දියත් වෙමින් හා ජයග්‍රහනයන් ලබමින් තිබිණි. විශේෂයෙන් වියට්නාමයේ යුද්ධය ජයග්‍රහණය, කියුබානු විප්ලවය, පලස්තීන විමුක්ති අරගලය, චීන විප්ලවය ආදියේ ආශ්වාදය ලොව පුරා පැතිරෙමින් තිබිණි. මාඕ සේතුංගේ,කිම් ඉල් සුං ගේ, කස්ත්‍රෝ හා චේ ගෙවේරාගේ ප්‍රකාශන ලාංකික තරුණයන් අතර ජනප්‍රිය වන්නට විය. එය ශ්‍රී ලංකාවේ සුලු ධනේශ්වරය අමන්දානන්දයට හේතු වූ අතර, වියටනාමයේ, බොලීවියාවේ, කියුබාවේ පැතිර ගිය ගරිල්ලා අරගල මගින් බලය ලබා ගැනිම ‘‘විප්ලවය “ ලෙස ලාංකික සුලු ධනපති මානසිකත්වය සහිත තරුණ කණ්ඩායම්වලට ඒත්තු ගැන්වීමට ජවිපෙ සමත් විය.

            ලංකාව 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වුවත්, 1831 න් පසු ආරථික ගමන් මග ධනවාදය කරා ගමන් කළත්, වැඩවසම් සමාජ ක්‍රමය 1970 වන විට ද බිද වැටි නොතිබිණි. මේ වකවානුව වන විට ද ඉතාම පීඩිත කුලවල තරුණ කාන්තාවන්ට පවා උඩුකයට ඇදුම් ඇදීමට නොහැකි විය.සමහර ආගමික ස්ථානවල අභ්‍යන්තරයට යාමට සමහර පීඩිත කුලවල ජනයාට අයිතිය නොවී ය. සමහර පාසල්වලට ද සමහර පීඩිත කුල දරුවන් ඇතුළත් කර ගත්තේ නැත. පීඩක කුලවලට අයත් නිවාසයන්හි දි පීඩිත කුළ ජනයාට නොයෙකුත් වෙනස්කම් කෙරිනි. පීඩිත කුල ජනයාට එම නිවෙසවලට ඇතුලු විය හැකි වූයේ පිටුපස දොරෙනි. උස් අසුන්වල වාඩි වීම තහනම් විය. පීඩක කුල ජනයාට ගෞරව බහුමානයෙන් කථාකළ යුතු විය. ආවාහ විවාහ සබදතා වලදී කුලය ප්‍රධාන සාධකයක් විය. මෙහි බලපෑම ජවිපෙ සදහා කොතෙක් දුරට බලපා ඇත්දැයි විමසීමේ දී පැහැදිලි වන්නේ එහි දේශපාලන මණ්ඩලයේ සියලු දෙනාම වාගේ පීඩිත කුළවලට අයත් වීම හා මධ්‍යම කාරක සභාවේ අති බහුතරය පීඩිත කුළවලට අයත් වීමෙනි.

            මෙවන් පසුබිමක ලාංකික සුලුධනේශ්වරය ගරිල්ලාවාදය කරා යොමුවීමටත්, කම්කරු පන්තියේ නායකත්වයෙන් තොරව  ‘සමාජවාදය“ ලගාකරගත හැකියැයි කල්පනා කිරිමටත් මූලික හේතුව වූයේ, සම්ප්‍රදායික වාමාංශික පක්ෂ සභාග දේශපාලනයට පිවිසීමයි. විශේෂයෙන් ම ලෝකයේ බලවත්ම ට්‍රොට්ස්කිවාදී පක්ෂය ලෙස හැදින් වූ සහ ලංකාවේ ප්‍රබලම කම්කරු පන්ති පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය 1964 දී සභාගවාදය වැළදගැනීම මගින් ප්‍රතිසංස්කරණවාදී මාවතට පිවිසීම නිසා ලාංකික තරුණයන් එම පක්ෂයට තිබූ ආකර්ශනය ඉවත් කිරිමට හේතු විය. නමුත් 1970 වන විට ද ලසසප,කොප හා ශ්‍රීලනිප සභාග ආණ්ඩුව පිහිටුවා වසරක්වත්වත් ගතවී නොතිබූ හෙයින්, ලාංකික කම්කරු පන්තිය සිය සම්ප්‍රදායික වාමාංශික නායකත්වය විසින් සභාගය තුළින් සමාජවාදය ලගාකර දේවියැයි බලාපොරොත්තු සහගතව සිටියහ. එනිසාම 1970 මැයි මාසයේ බලයට පත් ආණ්ඩුවට එරෙහිව ඉතා කෙටි කලකින් (1971 අප්‍රියෙල් ) ඇති වූ කැරැල්ලේ දී සම්ප්‍රදායික වාමාංශික පක්ෂවල නායකත්වයෙන් යුක්ත වූ කම්කරු පන්තිය සභාග ආණ්ඩුව ආරක්ෂා කිරිමට කැප විය. එයින් උගත හැකි ප්‍රධානම පාඩම වූයේ කම්කරු පන්තියේ නායකත්වයෙන් තොරව ධනපති ක්‍රමය පෙරලා දැමීමට ගනු ලබන ප්‍රයත්නයන් අසාර්ථක වන බවයි.